Skip to content
August 15, 2011

ග්‍රීස් යකා අල්ලන්නට නාථ දෙවියන් ඉදිරිපත් වෙයි ද?

ග්‍රීස් යකා දැන් රට පුරා කැළඹිලි කරන්නේ ය. ග්‍රීස් යකාට ආරක්ෂාව දෙනවා යැයි කියා ජනතාව පොලීසිවලට ගහන්නේ ය. ග්‍රීස් යකා යයි රැවටී පස් දෙනෙක් දැනටම සෙත්ත පෝච්චි ය.

ආසනික් යකාටත් වඩා පාන්පිටි ත්‍රස්තවාදයටත් වඩා පිරිභාහරන්ටත් වඩා මේ ගොයියා ශක්තිමත් වීමට පෙර මොකක් හෝ කළ යුතු ය.

විද්‍යාෙව් පිහිටට වඩා මෙවැනි යකුන් ප්‍රේතයින් කුම්භාණ්ඩයින් ඇල්ලීම සදහා අපේ පැරැන්නන් භාවිතා කළ ක්‍රමවේද පිහිට කර ගත හැකි ය.

නාථ දෙවියන්ගේ පිහිට ඇවැසිව ඇත්තේ දැන් ය. විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙකුගේ බිරින්දෑ කෙනෙකු හමුවන්නට ගිය විටක මේ ගැන ඔත්තුවක් දීමට නාථ දෙවියන්ට පුලුවන.

නාථ පස්ස ගහන්නේ නම් දෙවොල් දෙවියා වුව ද කමක් නැත. වැඩේ කෙරෙන්නේ නම් කවුරු කරාහම මොකද?

ග්‍රීස් යකාට ගම්මිරිස් ඇඹරීමට රතන සාදුව සෙට් කර දෙන්නට ජාතික හෙළ උරුමයට හැකි නම් ඒත් අපි ගොඩ ය.

විශ්ව ශක්තියට වුව ද මේ වෙලාවේ මැදිහත් විය හැකි ය. පුද්ගලික රෝග නිවාරණයට වඩා මෙවැනි සමාජ ව්‍යාසනයක් මැඩ පැවැත්වීමට ඔය බඩකඩුත්තුව යොදා ගන්නේ නම් එයට නිසි ගෞරවයක් ද ලැබෙනු ඇත.

August 12, 2011

ලංකාව ආක්‍රමණයට ඇමරිකන් ගුවන් හමුදාව සැරසෙයි ද?

ලංකා ගුවන් පථය ඇමරිකන් ගුවන් හමුදාව විසින් ආක්‍රමණය කර ඇතැයි යන ප්‍රවෘත්තිය ශ්‍රී ලාංකික ගුවන් හමුදාව විසින් නිරාවරණය කිරීමත් සමග ලංකාවට එරෙහි ඇමරිකන් කුමන්ත්‍රණයක් තිබේ යයි දේශප්‍රේමීන් තුළ තිබූ සැකය තහවුරුව ඇතැයි විමල් වීරවංශ සහෝදරයා හෙට අනිද්දා දිනක ජාතිය අමතා කියන්නට නියමිත බව සැක කටයුතු ආරංචි මාර්ගයක් අප වෙත වාර්ථා කර තිබේ.

ලංකාව ආශ්චර්යය කරා වේගයෙන් පා නගද්දී ඇමරිකාව ණය ගොහොරුවක හිරවී සිටීම දරා ගැනීමට නොහැකිව මේ ආක්‍රමණය සංවිධානය කරන්නට සැළැසුම් කරන්නට ඇතැයි විමල්ට දැනගන්නට ලැබී ඇත්තේ ඇමරිකාවේ පුරවැසි භාවය ලබා ගෙන සිටින ශ්‍රී ලාංකික දේශප්‍රේමීයෙකුගෙනි.

මේ සම්බන්ධයෙන් ඉක්මණින් සූදානම් වීමේ අවශ්‍යතාවය තදින් දැනී ඇති නිසාම ප්‍රහාරක ගුවන් යානාවල මදි පාඩුව ගැන සළකා නාථ දෙවියන් කැදවීම හැර වෙන මගක් නැතැයි නලින් ද සිල්වා මහතා කියා ඇත.

මේ අතර රතන හිමියන් කියන්නේ එහෙම කරොත් උන් තොලොංචි වන්නට ගම්මිරිස් අඹරන්නට නැවතත් සීනිගම යන්නට තමන්ට සිදුවනු ඇති බව ය.

තිස්තුන් කෝටියක් දෙවි දෙවතාවුන් වහන්සේලාගෙන් මුකුත් කරගන්නට මේ වෙලාවේවත් බැරිදැයි සිමියොන් උපාසක රාළ පන්සලේ හාමුදුරුවන්ගෙන් අසා ඇති බව ද අපට මේ අතර වාර්ථා වෙයි.

විශ්ව ශක්තිය හරියට කැදවූවොත් ඇමරිකාවට රිඹ යන්නට දෙතෑකි යයි විශ්ව ශක්ති හිමියන් මේ අතර කියා තිබේ.

එහෙම බලාගෙන ගියහම මොකා කුමන්ත්‍රණ කළත් අපට බය වෙන්නට දෙයක් නැත.

August 11, 2011

හසන්ත නම් නිවේදකයාට පෙනෙන සූරියප්පෙරුම නම් විද්වතාට නොපෙනෙන…

දරුවෙක් නැති එකා නපුංසක පුස්සෙක් කියල බොහොම සැරේට දොරමඩලාවේ විද්වත් මණ්ඩලයේ සූරියප්පෙරුම වියතාණන් කියල තිබුන.

එහෙම නපුංසක පුස්සොත් දොරමඩලාව බලන බව එතුමාට නොපෙනුනත් නිවේදක හසන්තට පෙනුන.

ඔහු වහාම වැරැද්ද හදන්න උත්සහ කරා. ඒ වුනත් මිනිසුන්ට අපහාස කරන මේ විද්වතානන් නැතිව මේ මඩලාව නම් කරගෙන යන්න අමාරුයි.

මේ විද්වතාගෙ තිරිසන් කතා අහන්න ගමේ ගොඩේ බොහෝ දෙනා කැමතියි. නපුංසක පුස්සො වුනත් මින් පස්සෙ දොරමඩලාව නොබලා ඉදියි කියල නම් හිතන්න බැහැ.

ඇත්තටම මේ රටේ මිනිස්සු තමන්ට කොකං පාන අයට හරි කැමතියි. ගහනවට තවත් කැමතියි. ඉතින් මෙහෙම වැඩසටහන් නැගල යන එක ගැන දෙපාරක් හිතන්න ඕන නෑහැ. හඩ්ඩගෙ කුණු කතා අහන්න උදේට ගුවන් විදුලිය ලග සෙට්වෙන කට්ටියගෙන් හොදයි බොරු ද කියල අහල බලන්නකො.

බණක් වුනත් නැගල යන්නෙ මිනිස්සුන්ට රිඹ යන්නට දෙන සෝම හාමුදුරුවො වගේ එක්කෙනෙක් කිව්වොත් තමයි.

August 10, 2011

දුවේ ඔයා වර්ජින්ද? ජපුර සරසවියේ උපකුලපති නිවාස අඩස්සියේ

එතුමාට නාථ දෙවියන්ගෙ පිහිටයි. ආරක්ෂාවයි.

දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ. දැන් ඉතින් ජපුර ශිෂ්‍යාවන්ගෙ කන්‍යා භාවය රැකිල ද නැත් ද කියල හොයල බලන්නෙ කවුද?

වැස්සකටවත් ඉස්කොලෙ නොගිය අයට විතරක් සරසවි වරම දෙනව නම් මෙහෙම කලකොලොප්පන් වෙන එකක් නෑ.

August 8, 2011

විද්‍යාවෙන් විභාග පාස් කර අවිද්‍යාවේ සරණ යෑම

විද්‍යාව තියෙන්නේ පාඩම් කර සහතිකයක් ගැනීමට ය. ඉන්පසුව ජොබ් කට්ටක් සොයා ගැනීමට ය.

කලාව කරාට වඩා විද්‍යාව කරහම කොහොමටත් පොඩි ආතල් එකක් ගතට නැතත් හිතට ඇත. ඒ කෙරුමෙකු වෙන නිසා ය. සෙසු අය කොහොම වෙතත් අඩුගණනේ කලාව කරන්නන්වත් එහෙම හිතන්නට ඉඩ ඇත.

කටපාඩම් කර වැමෑරිමත් කෙනෙකු කෙරුමෙකු කරයි නම් එසේ ලෙහෙසියෙන් කෙරුමෙකු වීම මගහරින්නේ කව්ද?

ඉතින් විද්‍යාව කර කෙරුමෙකු වී ජොබ් කට්ටක් සොයාගත්තාට පසු පරණ පුරුදු අවිද්‍යාෙව් සරණ ගියාට කමක් නැත.

විද්‍යාව උගන්නා කාලයේ මතක් නොකළාවූ විශ්ව ශක්තිය ද තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් ද අංජනම් දේවිය ද ඉර සදු තරු ග්‍රහලෝක ද හස්ත රේඛා ද හූනු ශාස්ත්‍රය ද කපුටු ශාස්ත්‍රය ද දේවාල කපුවන් ද දේවාල පුල්ලියන් ද පේන කියන්නන් ද හනුමන්තා ද යන එකි නොකී සියලු බලවේගවල පිහිටෙන් දේශපාලනඥයෙකුගේ නාඩි අල්ලන්නට පොටක් පාදා ගන්නට ඊට පසුව කටයුතු කරාට කමක් නැත.

විද්‍යාව විකුට ලබා ගත හැක්කේ සොච්චම් පඩියකි. හදි හූනියම් වස් කවි සෙත් කවි කියා ඊට වඩා බොහෝ දේ ලැබිය හැකි ය.

නාථ දෙයියන්ට කිට්ටු වුනොත් වෙනත් සුඛභෝග ද ලැබිය හැකි ය. තමන්ට කිට්ටු වෙන්නට බැරි නම් ගෑණිව උන්දෑට කිට්ටු කර ලබා ගත හැකි යමක් ඇත්නම් ඒ ද ලබා ගැනීම නරක අදහසක් නොවේ ය.

ලැබෙනවා නම් කොහොම ලැබුනහම මොකදෑ? මේ කොදෙව්වේ විද්‍යාවෙන් හොයනවාට වඩා යමක් අවිද්‍යාෙවන් හොයා ගන්නට ඉඩ තිබේ. එහෙව් එකේ කටපාඩම් කළා මිසක අවබෝධ කර නොගත් විද්‍යාව මත්තේම නැහීම අනුවන කමකි.

විද්‍යාව බැරිවුනාට මෝඩකම් කරන්නටම ඕනෑ නැත. කප්පරක් හම්බුකරගන්නට බැරි විද්‍යාව අමතක කර දැමීම ඒ අතින් නුවණැති කමකි.

කැළණිය සරසවිය අපට ආදර්ශයක් දී තිබේ. ඉතිරි සරසවි ද ඒ පාරේ යෑමට හිත හදා ගන්නේ නම් සරසවි වැටුප් අවුල පවා දෙවියන් ලවාම විසදා ගන්නට ඉඩ තිබුනේ ය. අපිට වුනත් කැත නැතිව අවිද්‍යාවේ සරණ යන්නට එවැනි වැඩ පිළිවෙලකින් පින පෑදෙනවා ඇත.

August 3, 2011

ආලය – මත – දේශප්‍රේමය – ආගම

බැලූ බැල්මට මේවා අහසට පොළොව වගේ ය. ඒත් මදක් විමසා බැලු කල බොහෝ සමානකම් මේවා අතර තිබෙන බව පෙනේ.

ආලයෙන් මත් වන බවත් දේශප්‍රේමයෙන් ද ඒ අයුරින්ම මත් විය හැකි බවත් අපි අසා ඇත්තෙමු. ආගම අබිං වැනි යැයි කීවේ කාල්මාක්ස් ය. අබිං මත් ද්‍රව්‍යයකි. එහෙම බැලුවහම එයින් ද මත්විය හැකි ය. ආගම නිසා ලොව ඇතිවූ යුද්ධ හා ඝාතන දෙස බැලීමෙන් එය සැබෑවක්ම බව ඔප්පු වේ.

මත් වුනහම කරන දෙයෙහි හරි වැරැද්ද නොපෙනේ. මතින් මත් වූ කල පමණක් නොව ඔය උඩින් කී කොයි පලහිලව්වෙන් මත්වුනහමත් තත්වය ඒක ම ය.

උත්තම දේශප්‍රේමයත් ශුද්ධ වූ ආගමත් අපරිහාන ධර්මයක් වූ මතත් කෙළෙස් රාගයෙන් යුත් ආලයත් එකම ගොඩක ලා සැළකීම ගැන සමහරු උරන වෙන්නට පුලුවන.

ඒ දැනටමත් මත් වී ඇති අය ය. ඒ අය සමහර විට කුණුහරුප කියාගෙන අවි අමෝරාගෙන පණිවුඩ කාරයා මරන්නට ඉස්සරහට එන්නට පුලුවන. ඒ සමහර විට ජාතියත් ආගමත් ආරක්ෂා කිරීමට ය.

මත් වුනහම කොහොමටත් වැඩ නුහුරට නිසා එවන් අයට අනුකම්පා කළ යුතු ය.

ලෝකය තේරුම් ගත හැක්කේ ඇලීම්වලින් ඈත්වු තරමට ය. ගෑණියකට බෝතලයකට මතු නොව රටට හා ආගමට ඇති ඇලීමත් සත්‍ය වටහා ගැනීමට පමුණුවන්නේ බාධාවන් ය.

බුදුන් වහන්සේ තමන්ගේ ධර්මය සසරින් එතෙර වන පහුරකට උපමා කොට එතෙර වුනු තැනැත්තා පහුර කර ගහගෙන යන සිරිතක් නැති නිසා සසරින් එතෙර වූ පසු ධර්මය කරගසා ගෙන නොඉන්නා ලෙසට සිය ශ්‍රාවකයන්ට උපදෙස් දෙන්නට ඇත්තේ මේ නිසා ය.

මත් වූ ශ්‍රාවකයින්ට මේවා සිහියට නොඒම එක් අතකට පුදුමයක් නොවේ. මතට තිත තියද්දී සියලු ආකාරයන්ගේ මතට තිත තියන්න පුලුවන් නම් අපිත් රටක් හැටියට දිනුම් ය.

August 2, 2011

ආලේ! අපෙ ආලේ! හරිම පුදුම ආලේ

ආලේ මහ පුදුමාකාර ය. එය ගැහැණියක අරබයා වේවයි ආගමක් අරබයා වේවැයි රටක් අරබයා වේවැයි වෙනසක් නැත.

ආලේ වෙනුවෙන් මිනිස්සු දිවි පුදති.  සිය හදවත් ගලවා ආලවන්තයාට ආලවන්තියට දෙති. එය ඉදිරියේ වැද වැටෙති.

මේ නිසාම ආලය පහසුවෙන් රැවැට්ටීම සදහා ද උපයෝගී කර ගැනේ.

ආලෙන් මත්වුනාට පසුව කිසිදු දැනමුතුකමක් කරුණු කාරණා සහිත තර්කාණුකූල ඉදිරිපත් කිරීමක් හිතට ගෝචර නොවේ.

මිනිසුන් අන්ධවන්නේ මේ ආලයෙනි.

එහෙම අන්ධ වුනහම ආලවන්තකම හැරුනු විට අනිත් සියල්ල හබරල කොලේට වැටුනු වතුර හා සමානව නොරැදී කිසිදු බලපෑමක් නොකරම ඉවත්ව යැයි. නැත්නම් ඉවත් කෙරෙයි.

ආලයට මිනිස්සු ප්‍රේමය කියා ද කියති. දේශප්‍රේමය කියන්නේ ද එවැනි ආලයකි.

එය රැවටීම සදහා යොදා ගන්නේ අපේ රටේ පමණක් නොවේ. ආලේ ස්වරෑපය කුමක් වුව ද එතැන මහා රැවටීමකට ඉඩක් ඇත.

අපේ රටේ සංස්කෘතියට අනුව මිල කළ නොහැකි කන්‍යාභාවය පවා ගැහැණු පුද කරන්නේ මේ ආලේට ය. එහෙව් රටේ ආලේ වෙනුවෙන් නොරැවටෙන අය අඩු ය.

ආලේ! මගේ ආලේ! හරිම පුදුම ආලේ!

(මේ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කියවනයට හෝ ලාංකීය සිතුවිලි වලට ඇතුලු කරගන්නේ නැත. කුමක් නිසා ද කියා හොයා බලා කියන්නට හැකි සගයෙක් වේ නම් අපේ ස්තුතිය ඔහුට/ඇයට ය. එයට ඉඩ සපයා ඇත්තේ මාතලන් අච්චාරු හා කොත්තු සින්ඩිකේටරවල පමණ ය.)

Follow

Get every new post delivered to your Inbox.